Saturday, November 18, 2017

මේ මගේ සඳයි ......




මේ මගේ සඳයි ......


මිනිසා සොබා දහමෙන් වියුක්ත ලෙස හදුනා ගත නොහැක්කේ , සොබාදමත් මිනිසාත් අතර පවතින අපූරු  අවිච්චින්න සබඳතාව හේතු කරගෙනය . ඉර, හඳ , තාරකා , ගස් ,ගල් ඔවුන්ගෙන් වන්දනයට පාත්‍ර විය . ස්වභාවික වස්තුන් වන්දනය කල ආදී කාලින මිනිසා මුග්ධයන් ලෙස හංවඩු ගැසීම අමනොඥ ක්‍රියාවක් නොවේදැයි වත්මන් මිනිසා දෙස හැරී බැලීමේදී පෙනී යන්නේ , සොබාදහමෙන් වියුක්තව සිතන්නට පටන් ගත් මිනිසා කෙමෙන් තමා විසින්ම තම වර්ගයාම විනාශමුඛයට ඇද දැමීමේ ක්‍රියාවලියක නිරතව ඇති නිසාවෙනි .1852 වසරේදී රතු ඉනිදියානු නායක සියැටල් විසින් තම ඉඩම් අත්පත් කිරීමට වෙර ගත් ඇමෙරිකානු ජනාධිපතිවරයාට යැවූ ලිපිය කියවන්නට මම ඔබට ආරාධනා කරමි . 'මකරන්දයෙන් යුත් පුෂ්පයෝ අපගේ නැගණියන් වෙති; සතා සිවුපාවා අපගේ සහෝදරයන් වැන්න . ඇළ , දොළ මතින් දිවෙන ජලය අපගේ මුතුන් මිත්තන්ගේ රුහිරයයි ; එසේ නම අප කෙසේ නම් අපගේ නිජබිම් ඔබට විකුණන්නේද ?'' යන්න ලෙස සියැටල් ඇමෙරිකානු ජනපතිගෙන් ප්‍රශ්න කරයි. අප කාගෙන්න්ම නම් මේ පිළිබඳව විමසිය යුතුවේ දැයි නොවැටහෙයි .

' සඳ ' තරම් අපට සමීප වෙනත් ස්වභාවික වස්තුවක් වේදැයි සිතිය නොහැකි තරම්ය. ඒ , එතරමට 'සඳ' සිංහල ගද්‍ය පද්‍ය සාහිත්‍ය තුල කේන්ද්‍රීය ස්ථානයක් හිමි කරගනි . උපමා මෙන්ම උත්ප්‍රේක්ෂාලංකාරයෙන් සඳ ඈදා ගෙතු කව් ගී පද බොහොමයක් වෙයි . සැළලිහිනියේ එන ' සිසිවන උවන ' යන පැදි පෙලෙන් සුකුමල යුවතියකගේ මුහුණ සහ සඳ අතර ඇති සාම්‍ය විදහා දක්වයි .

කුඩා කල සඳ ' අම්බිලි මාමා ' වෙයි, නැතහොත් හඳ මාමා වෙයි . හඳ මාමා කිරි , පැණි ගෙනවිත් දෙයි . නැතහොත් අම්බිලි මාමා පුළුන් වලා අතරින් එබී බලයි . දුරේක්ෂයන් හා තාක්ෂණික උපකරණ හමුවේ බියෙන් සලිතව පලා යන සාවෙකුද හඳේ ඇති වග අපි දනිමු . එහෙත් පුර හඳ පෑයූ දිනෙක  ඔබගේ පියවි ඇසට ' හද හාවා ' හමුවන බව නම් ඒකාන්තය . හාවා අහිංසකය . එසේනම් අහිංසක හාවාට නවාතැන් ගැනීමට හඳ තරම් සොමි ගුණෙන් යුතු වෙනත් තැනක් නොමැති තරම්ය . හඳේ හාවා ගැන මතක් වෙන්නේ කුඩා කලදී පමණක් නොවෙයි . සුනිල් එදිරිසිංහයන් එය අපට සිහි කරයි .

'' චන්ද්‍ර මණ්ඩලේ සැතපුණු පුංචි සාවියේ
  මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ '

සාවා ගෙන් තොර සඳ එල නැත . සදසාවී සඳට හොරෙන් නික්ම ගොසින්ය . මේ කඳුකරයේ ලයින්  කාමරයක කතාවකි. තම දියණිය ප්‍රේමය පතා රහසේම නික්ම ගිය සද පියෙකුගේ සිතැගි එලෙස ගීතයේ සනිටුවන්ව තිබිණ . නැවතත් සාවිය එන තුරු සඳ බලා සිටි .

ජීවිතයේ විවධ අවදීන් හීදී ' සඳ ' එබී බලනයුරු අපූරුය . තාරුණ්‍ය , ප්‍රේමය , විරහව හා සඳ එලෙස සමීප ඇසුරක වෙලෙයි . පුළුන් වලා අතරින් කුඩා කාලයේ එබී බලන සඳ , ප්‍රේමය හමුවේ තම භූමිකාව වෙනස් කරයි . එහෙත් , හොරෙන් බැලීමෙන් නම් අඩුවක් නැති .

'' සඳ හොරෙන් හොරෙන් එබී බලා වලා රොදක පැටලිලා
  අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා ''

කිරි , පැණි ගෙනදී සතුට ගෙනා සඳ ප්‍රේමයේ කතා අසන්නේ තවෙකෙකු හා පවසා බිදවන්නට  නොව ඒ කතා අසා සතුටු එන්නට විය යුතුය . ඒ කතා අසන සඳ ප්‍රේමයේ සතුට දෙගුණ , තෙගුණ කරනු වස් තම කාන්තිය දසත විහුදුවයි . ප්‍රේමාලිංගනයකට පසුබිම සැකසේන්ම එවන් අවස්ථාවන් මඟ හැරීම යුතු නොවේ . ඒ නිසාම ප්‍රේම නුරා බැලුම් හෙලන පෙම්වතිය මෙසේ කියනු ඇති .

' සඳ දිය උතුරා අපතේ යයි ගිලී නාන්නට එන්න දියේ '

එවන් නුරාවක ස්පර්ශය විදිනු නොහැකි පෙම්වතෙකුට සඳ ගෙනෙනෙ සඳ එලිය සියුම් වේදනාවක්  ගෙනෙනවාට සැක නැති. සඳේ පැහැය තැවරුණු අගේ වත සඳ එලිය සමග ඔහුට සිහිවනු ඇති .

'' සඳ මිඳුල ට එනවා ඇගේ වත සිහිවෙනවා ''

හැඟුම් පමණක් අවදිවන්නට ඉඩ හැර සඳ නිහඩවන අවස්ථාද නැතුව නොවේ . ප්‍රේමනීය සිතිවිලි පිබිදෙන්නට ඉඩ හැර සඳ බාධා  නොව ලෙස නිසොල්මන් වෙයි .

 '' සද තරු නිහඩයි ..ගහ කොළ නිසලයි
    මුළු ලොව සැතපෙයි සිතිවිලි විතරක් අවදිවෙලා ''

සඳ , තරු  ප්‍රේමය දෙස බලා හිඳී . එක් වීමට වරම් නොළද පෙම්වතුන් දෙස බලමින් ශෝකබරිතව ගොළුව හඬා වැළපෙයි .

' සඳයි තරුයි නිසංසලේ අහසේ ගොළුවෙලා
  ඔබයි මමයි දෙමන්සලේ දෙතැන තනි වෙලා ''

එවන් ආතුර වූ පෙම්වතුන් අහස් කුස දැක ඔවුනොවුන්ගේ ආදරය සඳත් , තරුවත් අතර ඇති පෙමක් හා සදිසි නොවේදැයි සිතයි .

'' ඔබ ඈත සඳ වී පායා

  මම මෑත තරුවක පිපිලා ''

දුරින් දුර තනිවී එහෙත් නෙත් සරින් ප්‍රේමයේ හැගුම් මුදා හරින පෙම්වතුන් එසේ පවසනු ඇත . ඇතැම් ප්‍රේම වෘතනත්යන් ඒක පාර්ශවිය වෙයි. නේක විධ හේතු මත ප්‍රේමය කැප කෙරුමට වන තැන් අපමණය . සරසව් වරම් ගෙන තමන් හැර යන පෙම්වතිය පිළිබද සංවේදී කතාව සානුකම්පිතව ගේය පදයක් ලෙසින් මතුවෙයි .

' හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න

  මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න '

තමන් ප්‍රේම කල සොඳුරියට ආසිරි පතමින් එසේ වෙන් වන පෙම්වතුන් සිටින අතරම ඇතැම් තැනක තමන් හඳ මෙන් අහිංසක යැයි සිතු පෙම්වතියකගේ රුදුරු ක්‍රියාකලාපය දරාගැනීමට නොහැකි තැන මෙසේද කියනු ඇති.

' පිළිගන්න පුලුවන්ද සඳ දෙව් දුවත් මේ හැටිම නපුරුයි කියා '

එතෙකුදු වුව , සඳේ සාවා නොපෙනෙනේ කල්හි එය ආවට ලෙස ඇතැමෙකුට පෙනෙයි . කොතරම් ආවට තිබුණද හඳ නිසසලය , පියකරුය . කිසිවක් ලොව සර්ව සම්පුර්ණ නැත . ඒ නිසා ආවට තිබුනාට කම නැත ..මාගේ ප්‍රේමය සඳ මෙන්ම අහිංසකය . ඔහු මෙලෙස පවසන්නේ තමන් හා යුග දිවියට එළඹෙන සදවතියක් ගැනද ?

''
ආවාට තිබුණත් නිසසල සඳ මත එය හරි ප්‍රියංකරයි

මා කාට නැතුවත් ඔබට පිදු පෙම සඳ මෙන් අහිංසකයි ''

ප්‍රේමය සංස්පර්ශයෙන් බිහිවෙන අංකුර දෙදෙනාගේ සෙනෙහෙ දියෙන් දෝවනය වෙයි . සඳ , තරු මල් එකතුව ප්‍රේමයේ එලයක් දෝතට නෙලවිත් ගෙනා සෙයකි

' සඳ තරු මල් මට දන් දුන් මගේ මගේ රුසිරු නුඹ අරගන් '

මව් පදවිය ලබන ඇය එසේ පවසන අතර දරුවෙකුට අම්මා සොමි ගුණයෙන් සුසැදි සඳක් මය. පිය වරම ලත් ඔහු තම දරුවන්ගේ මව දෙස බලා මෙසේ කියනු ඇති .

' අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී '

මව , පියා නැවතත තම සන්තකයේ ඇති දැඩි වන දරුවාට ආදරයේ පාඩම කියා දිය යුතුය . නැවතත් අම්බිලි මාමා ගැන පැවසිය යුතුය . ඝන අඳුරට පෙම් නොබැද ආලෝකයට ආදරය කලයුතුය .ලොව සොඳුරු දේ අයිති සොබදහමටමය .

' ඝන කළුවරට අප පෙම් කලොත්

 ඉර හඳ තරුවලට ණයගැතියි''

එය එසේ නම් සියැටල් කියූ පාඩම සැබෑවකි .මිනිසාගේ පැවැත්ම තීරණය කරණුයේ අප සොබාදහමට ගරුකරන තරමටමය .

'' ලොව දුන්න දේවල් අද අපිට හෙට
  ලොවට පෙරලා දිය යුතුයි ''

මේ පාඩම කියා දිය හැක්කේ කුඩා දරුවනට පමණක් ම බැව් හැගෙයි . උගත් , බුද්ධිමත් යැයි හැගෙන ඇතැමුන් සොබාදහම ඝාතනය කිරීමට පෙරමුණ ගෙන් ඇති නිසා වෙනි .


අශෝක් ප්‍රියදර්ශන





No comments:

Post a Comment