මේ මගේ සඳයි ......
' සඳ ' තරම් අපට සමීප වෙනත් ස්වභාවික වස්තුවක් වේදැයි සිතිය නොහැකි තරම්ය. ඒ , එතරමට 'සඳ' සිංහල ගද්‍ය පද්‍ය සාහිත්‍ය තුල කේන්ද්‍රීය ස්ථානයක් හිමි කරගනි . උපමා මෙන්ම උත්ප්‍රේක්ෂාලංකාරයෙන් සඳ ඈදා ගෙතු කව් ගී පද බොහොමයක් වෙයි . සැළලිහිනියේ එන ' සිසිවන උවන ' යන පැදි පෙලෙන් සුකුමල යුවතියකගේ මුහුණ සහ සඳ අතර ඇති සාම්‍ය විදහා දක්වයි .
කුඩා කල සඳ ' අම්බිලි මාමා ' වෙයි, නැතහොත් හඳ මාමා වෙයි . හඳ මාමා කිරි , පැණි ගෙනවිත් දෙයි . නැතහොත් අම්බිලි මාමා පුළුන් වලා අතරින් එබී බලයි . දුරේක්ෂයන් හා තාක්ෂණික උපකරණ හමුවේ බියෙන් සලිතව පලා යන සාවෙකුද හඳේ ඇති වග අපි දනිමු . එහෙත් පුර හඳ පෑයූ දිනෙක ඔබගේ පියවි ඇසට ' හද හාවා ' හමුවන බව නම් ඒකාන්තය . හාවා අහිංසකය . එසේනම් අහිංසක හාවාට නවාතැන් ගැනීමට හඳ තරම් සොමි ගුණෙන් යුතු වෙනත් තැනක් නොමැති තරම්ය . හඳේ හාවා ගැන මතක් වෙන්නේ කුඩා කලදී පමණක් නොවෙයි . සුනිල් එදිරිසිංහයන් එය අපට සිහි කරයි .
'' චන්ද්‍ර මණ්ඩලේ සැතපුණු පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ '
සාවා ගෙන් තොර සඳ එල නැත . සදසාවී සඳට හොරෙන් නික්ම ගොසින්ය . මේ කඳුකරයේ ලයින් කාමරයක කතාවකි. තම දියණිය ප්‍රේමය පතා රහසේම නික්ම ගිය සද පියෙකුගේ සිතැගි එලෙස ගීතයේ සනිටුවන්ව තිබිණ . නැවතත් සාවිය එන තුරු සඳ බලා සිටි .
ජීවිතයේ විවධ අවදීන් හීදී ' සඳ ' එබී බලනයුරු අපූරුය . තාරුණ්‍ය , ප්‍රේමය , විරහව හා සඳ එලෙස සමීප ඇසුරක වෙලෙයි . පුළුන් වලා අතරින් කුඩා කාලයේ එබී බලන සඳ , ප්‍රේමය හමුවේ තම භූමිකාව වෙනස් කරයි . එහෙත් , හොරෙන් බැලීමෙන් නම් අඩුවක් නැති .
'' සඳ හොරෙන් හොරෙන් එබී බලා වලා රොදක පැටලිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා ''
කිරි , පැණි ගෙනදී සතුට ගෙනා සඳ ප්‍රේමයේ කතා අසන්නේ තවෙකෙකු හා පවසා බිදවන්නට නොව ඒ කතා අසා සතුටු එන්නට විය යුතුය . ඒ කතා අසන සඳ ප්‍රේමයේ සතුට දෙගුණ , තෙගුණ කරනු වස් තම කාන්තිය දසත විහුදුවයි . ප්‍රේමාලිංගනයකට පසුබිම සැකසේන්ම එවන් අවස්ථාවන් මඟ හැරීම යුතු නොවේ . ඒ නිසාම ප්‍රේම නුරා බැලුම් හෙලන පෙම්වතිය මෙසේ කියනු ඇති .
' සඳ දිය උතුරා අපතේ යයි ගිලී නාන්නට එන්න දියේ '
එවන් නුරාවක ස්පර්ශය විදිනු නොහැකි පෙම්වතෙකුට සඳ ගෙනෙනෙ සඳ එලිය සියුම් වේදනාවක් ගෙනෙනවාට සැක නැති. සඳේ පැහැය තැවරුණු අගේ වත සඳ එලිය සමග ඔහුට සිහිවනු ඇති .
'' සඳ මිඳුල ට එනවා ඇගේ වත සිහිවෙනවා ''
හැඟුම් පමණක් අවදිවන්නට ඉඩ හැර සඳ නිහඩවන අවස්ථාද නැතුව නොවේ . ප්‍රේමනීය සිතිවිලි පිබිදෙන්නට ඉඩ හැර සඳ බාධා නොව ලෙස නිසොල්මන් වෙයි .
'' සද තරු නිහඩයි ..ගහ කොළ නිසලයි
මුළු ලොව සැතපෙයි සිතිවිලි විතරක් අවදිවෙලා ''
සඳ , තරු ප්‍රේමය දෙස බලා හිඳී . එක් වීමට වරම් නොළද පෙම්වතුන් දෙස බලමින් ශෝකබරිතව ගොළුව හඬා වැළපෙයි .
' සඳයි තරුයි නිසංසලේ අහසේ ගොළුවෙලා
ඔබයි මමයි දෙමන්සලේ දෙතැන තනි වෙලා ''
එවන් ආතුර වූ පෙම්වතුන් අහස් කුස දැක ඔවුනොවුන්ගේ ආදරය සඳත් , තරුවත් අතර ඇති පෙමක් හා සදිසි නොවේදැයි සිතයි .
'' ඔබ ඈත සඳ වී පායා
මම මෑත තරුවක පිපිලා ''
දුරින් දුර තනිවී එහෙත් නෙත් සරින් ප්‍රේමයේ හැගුම් මුදා හරින පෙම්වතුන් එසේ පවසනු ඇත . ඇතැම් ප්‍රේම වෘතනත්යන් ඒක පාර්ශවිය වෙයි. නේක විධ හේතු මත ප්‍රේමය කැප කෙරුමට වන තැන් අපමණය . සරසව් වරම් ගෙන තමන් හැර යන පෙම්වතිය පිළිබද සංවේදී කතාව සානුකම්පිතව ගේය පදයක් ලෙසින් මතුවෙයි .
' හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න '
තමන් ප්‍රේම කල සොඳුරියට ආසිරි පතමින් එසේ වෙන් වන පෙම්වතුන් සිටින අතරම ඇතැම් තැනක තමන් හඳ මෙන් අහිංසක යැයි සිතු පෙම්වතියකගේ රුදුරු ක්‍රියාකලාපය දරාගැනීමට නොහැකි තැන මෙසේද කියනු ඇති.
' පිළිගන්න පුලුවන්ද සඳ දෙව් දුවත් මේ හැටිම නපුරුයි කියා '
එතෙකුදු වුව , සඳේ සාවා නොපෙනෙනේ කල්හි එය ආවට ලෙස ඇතැමෙකුට පෙනෙයි . කොතරම් ආවට තිබුණද හඳ නිසසලය , පියකරුය . කිසිවක් ලොව සර්ව සම්පුර්ණ නැත . ඒ නිසා ආවට තිබුනාට කම නැත ..මාගේ ප්‍රේමය සඳ මෙන්ම අහිංසකය . ඔහු මෙලෙස පවසන්නේ තමන් හා යුග දිවියට එළඹෙන සදවතියක් ගැනද ?
''
ආවාට තිබුණත් නිසසල සඳ මත එය හරි ප්‍රියංකරයි
මා කාට නැතුවත් ඔබට පිදු පෙම සඳ මෙන් අහිංසකයි ''
ප්‍රේමය සංස්පර්ශයෙන් බිහිවෙන අංකුර දෙදෙනාගේ සෙනෙහෙ දියෙන් දෝවනය වෙයි . සඳ , තරු මල් එකතුව ප්‍රේමයේ එලයක් දෝතට නෙලවිත් ගෙනා සෙයකි
' සඳ තරු මල් මට දන් දුන් මගේ මගේ රුසිරු නුඹ අරගන් '
මව් පදවිය ලබන ඇය එසේ පවසන අතර දරුවෙකුට අම්මා සොමි ගුණයෙන් සුසැදි සඳක් මය. පිය වරම ලත් ඔහු තම දරුවන්ගේ මව දෙස බලා මෙසේ කියනු ඇති .
' අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී '
මව , පියා නැවතත තම සන්තකයේ ඇති දැඩි වන දරුවාට ආදරයේ පාඩම කියා දිය යුතුය . නැවතත් අම්බිලි මාමා ගැන පැවසිය යුතුය . ඝන අඳුරට පෙම් නොබැද ආලෝකයට ආදරය කලයුතුය .ලොව සොඳුරු දේ අයිති සොබදහමටමය .
' ඝන කළුවරට අප පෙම් කලොත්
ඉර හඳ තරුවලට ණයගැතියි''
එය එසේ නම් සියැටල් කියූ පාඩම සැබෑවකි .මිනිසාගේ පැවැත්ම තීරණය කරණුයේ අප සොබාදහමට ගරුකරන තරමටමය .
'' ලොව දුන්න දේවල් අද අපිට හෙට
ලොවට පෙරලා දිය යුතුයි ''
මේ පාඩම කියා දිය හැක්කේ කුඩා දරුවනට පමණක් ම බැව් හැගෙයි . උගත් , බුද්ධිමත් යැයි හැගෙන ඇතැමුන් සොබාදහම ඝාතනය කිරීමට පෙරමුණ ගෙන් ඇති නිසා වෙනි .
අශෝක් ප්‍රියදර්ශන

No comments:
Post a Comment