පැන්සල් තුඩකින් , පෑන් තුඩකින් කවියක් නොලියවුණු අයෙක් වේ නම් එය විරලය. ආත්මීය ප්‍රකාශනයන් බොහෝ විට එසේ කඩදාහියක කාටත් හොරෙන් ලියවුණු අවස්ථා ඔබේ මතකයට නැගෙනු ඇත. එසේ ලියවුණු කවියක් වැනි යමක් කාටත් හොරෙන් බලා , කියවා ඔබ එය විදින්නට ඇත .සමහරවිට විදවමින් විදින්නට ඇත . එසේම මතක පමණක් හිත යට නිදන් කරවා එවන් වැකි, කවි ,නිදහස් පැදි පිලිස්සෙන්න්ට ඇත ...ඇතැම් විටක කුඩා කුඩා කැබලිවලට බිදෙන්නට ඇත . එසේ ලියවිල්ලක් වනුයේ ඔබේ භාවමය විරේචනයන්ය . ඇතැම් ආත්මීය ප්‍රකාශනයන් විශ්වීය අත්දැකීමක් කරනුවස් ගීතමය නිර්මාණ ලෙස එලි දකින්නට ඇත . එවන් එක් ගීතමය නිර්මාණයක් පසුගිය දිනෙක මා අල්ලා බැඳ තබා මා අතීතයට තල්ලු කළේය . ඒ සුගායනීය හඬ අන් කිසිවෙකුගේත් නොව අමරසිරි පීරිස් කලාකරුවානන්ගේය . මේ කතාව අහිංසක ආදරයක් ගැනය . අහිංසක ආදරයකට අංගුලිමාල විය නොහැකියැයි මා විශ්වාස කරමි .අපේ අහිංසක ආදරේ
ලොවම එරෙහි වෙන
ලොවට වසන්වන
අපේ අහිංසක ආදරේ
මුතු කැට බෙලි කටුවක් යට සගැවෙයි . අහිංසක මුතු බෙල්ලෙකුගේ ප්‍රාණය නිරුද්ධ කර මුතු කැටය පැහැර ගැනේ . මේ ආදරයත් ලොවට හොරා බිහිවන්නකි . එය මුතු කැටයක් ලෙස සුරැකිව තබාගන්නට වෙහෙසෙයි . මුතු තිබියයුත්තේ බෙල්ලන් තුල නොව ආභරණවල පමණක් යැයි සිතනන්නන් මුතු පැහැර ගනි . කථකයාගේ ආදරයද එබඳු යැයි මට හැගෙයි . ආදරයකට , එරෙහිවන්නට නේක විද කාරණා තිබිය හැක. සංස්කෘතික , සාමාජීය එමෙන්ම ආගමික කාරණාද ඒ අතර තිබිය හැක . මෙම ගීතයේ පද ප්‍රවීණ දේශපාලන විද්‍යා දේශක ජයසේන බෙලිගලයන්ගෙනි . වේදිකාව මත හිදි හාත් පස විමසන මේ අදුරුතුමාට ඇතැම් විට එවන් ආදරයන් තැන තැන හැංගී තිබී හමුවුණාට සැක නැත .ඔහු පවසන්නේ එවන් කතාවක්ද එය දන්නේ ඔහුම පමණකි .
ප්‍රේමයේ සංස්පර්ශයන් ඇතැම් විටක හුදෙක් භාවයමය ස්වරුපයක් ගන්නා අතර සියුම් හෝ කායික ස්පර්ශයකට කිසිඳු ඉඩක් නැති. හුදු කායික බැදීම් මතින් පමණක් දිවෙන බන්ධනයන් තුල ආදරයේ ස්වර්ණමය රැහැන ඇත්දැයි සැකයක් වෙයි. ඒ කෙසේ වුවද මේ ගීතයෙන් කියවෙන යුවලට උයන් කොණක මුදු සිසිලස හෝ අවන්හලක ප්‍රේමනීය දොඩමලුවීමට ඉඩක් නැත්තේ ඇතැම් විටක මෙය සම්මත පෙමක් නොවන නිසාද එසේත් නැතහොත් දහසක් රුදුරු නෙත් සරින් අහිංසක ආදරය වියැකී යා හැකි නිසාද ? සුනිල් එදිරිසිංහයන් ගේ ගීතයක පැදි පෙළක් සිහියට නැගෙයි .
' හදේ කොතැනක හෝ ඉඳි නුඹ නිදා නොනිදා මෙන්'
ඇතැම් ප්‍රේමයන් හදවතේ කුඩාම කුටීරයක මුතු කැටයක් ලෙස නිදන් කර ඇත . ඒ ගැන ලොව දන්නේ නැත . එහෙත් අවසර ලද ඇසිල්ලක මුතු කැටයක් නිසා බෙල්ලෙකුට දැනෙන වේදනාව දනේනවාට සැක නැත . ලොව වැඩිපුර ඇත්තේ හිමි නොවූ අහිමි ආදර කතා විය හැක. එවන් කතාවක ඔබද එක් චරිතයක් විය හැක . වටපිට බලා ආරක්‍ෂිත බව දැන එවන් අතීතයක මනෝමය කාල සක්මනක යෙදෙන ස්වාමිවරු , බිරින්දෑවරු නැත්තේද නොවේ.
උයන් කොණක හිඳ සිසිලස විඳිනු බැරි
අවන්හලක ලැග දොඩමලු වන්න බැරි
පවන් රොදක නැග සිහිනෙක වෙලෙනු බැරි
මෙවන් ප්‍රේමයන් මේ වනවිටද ලොව බොහෝ තැන් වල මැරී මැරී ජීවත් වනු ඇති. සමහරවිට එය ඔබ තුළද නොමැරී එහෙත් මැරී මැරී ජීවත්වෙනු ඇත. එහෙත් සැහැල්ලුවෙන් ඒ ප්‍රේමය ගැන හීන දැකීම උගහටය . බෙලිගලයන් මේ කතා කරන්නේ ' රහස් ප්‍රේමයක් ' ගැන යැයි මට සිතේ .' රහස් ප්‍රේමය ' මෙය කියවන්නාට අභිමත ලෙස නිර්වචනය කර ගත හැක . ' මේ ආදරණීය රහස ' කිසිවෙකුට නොකීව මනාය . අසන්නා එය කෙසේ අසාවිදැයි නොදැනී .සරලවම මේ රහස් ආදරණීය කතාව මේ කියන කථකයාටවත් විශ්වාස කිරීමට නොහැකිය . එය ලොවට හොරා බිහිවූ අහිංසක ආදරයක්මය .
' කීවත් කෙනෙකුට අදහා ගන්න බැරි
කියන්නේ කෙලෙස ද මටවත් හිතනු බැරි
රන් හුයකින් බැන්ද පමණකට එය ආදරයක් විය හැකිනම් ? එය එසේ නොවේ . ප්‍රේමනීය බන්ධනයන් හී ස්වර්ණමය හුය අදෘශ්‍යමානය . එවන් ප්‍රේමයන් මියෙනතුරු ජීවත් වෙති. බෙලිගලයන් මේ කියන්නට උත්සුක වන්නේ ලොව ප්‍රේමය යැයි යමක් වේ නම් එය ඇත්තේ අහිමි වීම තුල බවද ?
නිදන්ගත ප්‍රේමය සුරැකිව ඇති හද කුටියේ දොර වසනු මැනවි . එය එසේ සුරක්ෂිත ව තිබුණාවේ.
'' අපේ අහිංසක ආදරේ '' අමරසිරි පීරිස්ගේ සුගායනීය හඬ තවදුරටත් ඔබට එසේ ඇසෙනු ඇත .
- අශෝක් ප්‍රියදර්ශන
No comments:
Post a Comment