Saturday, November 18, 2017

මේ මගේ සඳයි ......




මේ මගේ සඳයි ......


මිනිසා සොබා දහමෙන් වියුක්ත ලෙස හදුනා ගත නොහැක්කේ , සොබාදමත් මිනිසාත් අතර පවතින අපූරු  අවිච්චින්න සබඳතාව හේතු කරගෙනය . ඉර, හඳ , තාරකා , ගස් ,ගල් ඔවුන්ගෙන් වන්දනයට පාත්‍ර විය . ස්වභාවික වස්තුන් වන්දනය කල ආදී කාලින මිනිසා මුග්ධයන් ලෙස හංවඩු ගැසීම අමනොඥ ක්‍රියාවක් නොවේදැයි වත්මන් මිනිසා දෙස හැරී බැලීමේදී පෙනී යන්නේ , සොබාදහමෙන් වියුක්තව සිතන්නට පටන් ගත් මිනිසා කෙමෙන් තමා විසින්ම තම වර්ගයාම විනාශමුඛයට ඇද දැමීමේ ක්‍රියාවලියක නිරතව ඇති නිසාවෙනි .1852 වසරේදී රතු ඉනිදියානු නායක සියැටල් විසින් තම ඉඩම් අත්පත් කිරීමට වෙර ගත් ඇමෙරිකානු ජනාධිපතිවරයාට යැවූ ලිපිය කියවන්නට මම ඔබට ආරාධනා කරමි . 'මකරන්දයෙන් යුත් පුෂ්පයෝ අපගේ නැගණියන් වෙති; සතා සිවුපාවා අපගේ සහෝදරයන් වැන්න . ඇළ , දොළ මතින් දිවෙන ජලය අපගේ මුතුන් මිත්තන්ගේ රුහිරයයි ; එසේ නම අප කෙසේ නම් අපගේ නිජබිම් ඔබට විකුණන්නේද ?'' යන්න ලෙස සියැටල් ඇමෙරිකානු ජනපතිගෙන් ප්‍රශ්න කරයි. අප කාගෙන්න්ම නම් මේ පිළිබඳව විමසිය යුතුවේ දැයි නොවැටහෙයි .

' සඳ ' තරම් අපට සමීප වෙනත් ස්වභාවික වස්තුවක් වේදැයි සිතිය නොහැකි තරම්ය. ඒ , එතරමට 'සඳ' සිංහල ගද්‍ය පද්‍ය සාහිත්‍ය තුල කේන්ද්‍රීය ස්ථානයක් හිමි කරගනි . උපමා මෙන්ම උත්ප්‍රේක්ෂාලංකාරයෙන් සඳ ඈදා ගෙතු කව් ගී පද බොහොමයක් වෙයි . සැළලිහිනියේ එන ' සිසිවන උවන ' යන පැදි පෙලෙන් සුකුමල යුවතියකගේ මුහුණ සහ සඳ අතර ඇති සාම්‍ය විදහා දක්වයි .

කුඩා කල සඳ ' අම්බිලි මාමා ' වෙයි, නැතහොත් හඳ මාමා වෙයි . හඳ මාමා කිරි , පැණි ගෙනවිත් දෙයි . නැතහොත් අම්බිලි මාමා පුළුන් වලා අතරින් එබී බලයි . දුරේක්ෂයන් හා තාක්ෂණික උපකරණ හමුවේ බියෙන් සලිතව පලා යන සාවෙකුද හඳේ ඇති වග අපි දනිමු . එහෙත් පුර හඳ පෑයූ දිනෙක  ඔබගේ පියවි ඇසට ' හද හාවා ' හමුවන බව නම් ඒකාන්තය . හාවා අහිංසකය . එසේනම් අහිංසක හාවාට නවාතැන් ගැනීමට හඳ තරම් සොමි ගුණෙන් යුතු වෙනත් තැනක් නොමැති තරම්ය . හඳේ හාවා ගැන මතක් වෙන්නේ කුඩා කලදී පමණක් නොවෙයි . සුනිල් එදිරිසිංහයන් එය අපට සිහි කරයි .

'' චන්ද්‍ර මණ්ඩලේ සැතපුණු පුංචි සාවියේ
  මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ '

සාවා ගෙන් තොර සඳ එල නැත . සදසාවී සඳට හොරෙන් නික්ම ගොසින්ය . මේ කඳුකරයේ ලයින්  කාමරයක කතාවකි. තම දියණිය ප්‍රේමය පතා රහසේම නික්ම ගිය සද පියෙකුගේ සිතැගි එලෙස ගීතයේ සනිටුවන්ව තිබිණ . නැවතත් සාවිය එන තුරු සඳ බලා සිටි .

ජීවිතයේ විවධ අවදීන් හීදී ' සඳ ' එබී බලනයුරු අපූරුය . තාරුණ්‍ය , ප්‍රේමය , විරහව හා සඳ එලෙස සමීප ඇසුරක වෙලෙයි . පුළුන් වලා අතරින් කුඩා කාලයේ එබී බලන සඳ , ප්‍රේමය හමුවේ තම භූමිකාව වෙනස් කරයි . එහෙත් , හොරෙන් බැලීමෙන් නම් අඩුවක් නැති .

'' සඳ හොරෙන් හොරෙන් එබී බලා වලා රොදක පැටලිලා
  අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා ''

කිරි , පැණි ගෙනදී සතුට ගෙනා සඳ ප්‍රේමයේ කතා අසන්නේ තවෙකෙකු හා පවසා බිදවන්නට  නොව ඒ කතා අසා සතුටු එන්නට විය යුතුය . ඒ කතා අසන සඳ ප්‍රේමයේ සතුට දෙගුණ , තෙගුණ කරනු වස් තම කාන්තිය දසත විහුදුවයි . ප්‍රේමාලිංගනයකට පසුබිම සැකසේන්ම එවන් අවස්ථාවන් මඟ හැරීම යුතු නොවේ . ඒ නිසාම ප්‍රේම නුරා බැලුම් හෙලන පෙම්වතිය මෙසේ කියනු ඇති .

' සඳ දිය උතුරා අපතේ යයි ගිලී නාන්නට එන්න දියේ '

එවන් නුරාවක ස්පර්ශය විදිනු නොහැකි පෙම්වතෙකුට සඳ ගෙනෙනෙ සඳ එලිය සියුම් වේදනාවක්  ගෙනෙනවාට සැක නැති. සඳේ පැහැය තැවරුණු අගේ වත සඳ එලිය සමග ඔහුට සිහිවනු ඇති .

'' සඳ මිඳුල ට එනවා ඇගේ වත සිහිවෙනවා ''

හැඟුම් පමණක් අවදිවන්නට ඉඩ හැර සඳ නිහඩවන අවස්ථාද නැතුව නොවේ . ප්‍රේමනීය සිතිවිලි පිබිදෙන්නට ඉඩ හැර සඳ බාධා  නොව ලෙස නිසොල්මන් වෙයි .

 '' සද තරු නිහඩයි ..ගහ කොළ නිසලයි
    මුළු ලොව සැතපෙයි සිතිවිලි විතරක් අවදිවෙලා ''

සඳ , තරු  ප්‍රේමය දෙස බලා හිඳී . එක් වීමට වරම් නොළද පෙම්වතුන් දෙස බලමින් ශෝකබරිතව ගොළුව හඬා වැළපෙයි .

' සඳයි තරුයි නිසංසලේ අහසේ ගොළුවෙලා
  ඔබයි මමයි දෙමන්සලේ දෙතැන තනි වෙලා ''

එවන් ආතුර වූ පෙම්වතුන් අහස් කුස දැක ඔවුනොවුන්ගේ ආදරය සඳත් , තරුවත් අතර ඇති පෙමක් හා සදිසි නොවේදැයි සිතයි .

'' ඔබ ඈත සඳ වී පායා

  මම මෑත තරුවක පිපිලා ''

දුරින් දුර තනිවී එහෙත් නෙත් සරින් ප්‍රේමයේ හැගුම් මුදා හරින පෙම්වතුන් එසේ පවසනු ඇත . ඇතැම් ප්‍රේම වෘතනත්යන් ඒක පාර්ශවිය වෙයි. නේක විධ හේතු මත ප්‍රේමය කැප කෙරුමට වන තැන් අපමණය . සරසව් වරම් ගෙන තමන් හැර යන පෙම්වතිය පිළිබද සංවේදී කතාව සානුකම්පිතව ගේය පදයක් ලෙසින් මතුවෙයි .

' හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න

  මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න '

තමන් ප්‍රේම කල සොඳුරියට ආසිරි පතමින් එසේ වෙන් වන පෙම්වතුන් සිටින අතරම ඇතැම් තැනක තමන් හඳ මෙන් අහිංසක යැයි සිතු පෙම්වතියකගේ රුදුරු ක්‍රියාකලාපය දරාගැනීමට නොහැකි තැන මෙසේද කියනු ඇති.

' පිළිගන්න පුලුවන්ද සඳ දෙව් දුවත් මේ හැටිම නපුරුයි කියා '

එතෙකුදු වුව , සඳේ සාවා නොපෙනෙනේ කල්හි එය ආවට ලෙස ඇතැමෙකුට පෙනෙයි . කොතරම් ආවට තිබුණද හඳ නිසසලය , පියකරුය . කිසිවක් ලොව සර්ව සම්පුර්ණ නැත . ඒ නිසා ආවට තිබුනාට කම නැත ..මාගේ ප්‍රේමය සඳ මෙන්ම අහිංසකය . ඔහු මෙලෙස පවසන්නේ තමන් හා යුග දිවියට එළඹෙන සදවතියක් ගැනද ?

''
ආවාට තිබුණත් නිසසල සඳ මත එය හරි ප්‍රියංකරයි

මා කාට නැතුවත් ඔබට පිදු පෙම සඳ මෙන් අහිංසකයි ''

ප්‍රේමය සංස්පර්ශයෙන් බිහිවෙන අංකුර දෙදෙනාගේ සෙනෙහෙ දියෙන් දෝවනය වෙයි . සඳ , තරු මල් එකතුව ප්‍රේමයේ එලයක් දෝතට නෙලවිත් ගෙනා සෙයකි

' සඳ තරු මල් මට දන් දුන් මගේ මගේ රුසිරු නුඹ අරගන් '

මව් පදවිය ලබන ඇය එසේ පවසන අතර දරුවෙකුට අම්මා සොමි ගුණයෙන් සුසැදි සඳක් මය. පිය වරම ලත් ඔහු තම දරුවන්ගේ මව දෙස බලා මෙසේ කියනු ඇති .

' අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී '

මව , පියා නැවතත තම සන්තකයේ ඇති දැඩි වන දරුවාට ආදරයේ පාඩම කියා දිය යුතුය . නැවතත් අම්බිලි මාමා ගැන පැවසිය යුතුය . ඝන අඳුරට පෙම් නොබැද ආලෝකයට ආදරය කලයුතුය .ලොව සොඳුරු දේ අයිති සොබදහමටමය .

' ඝන කළුවරට අප පෙම් කලොත්

 ඉර හඳ තරුවලට ණයගැතියි''

එය එසේ නම් සියැටල් කියූ පාඩම සැබෑවකි .මිනිසාගේ පැවැත්ම තීරණය කරණුයේ අප සොබාදහමට ගරුකරන තරමටමය .

'' ලොව දුන්න දේවල් අද අපිට හෙට
  ලොවට පෙරලා දිය යුතුයි ''

මේ පාඩම කියා දිය හැක්කේ කුඩා දරුවනට පමණක් ම බැව් හැගෙයි . උගත් , බුද්ධිමත් යැයි හැගෙන ඇතැමුන් සොබාදහම ඝාතනය කිරීමට පෙරමුණ ගෙන් ඇති නිසා වෙනි .


අශෝක් ප්‍රියදර්ශන





Sunday, November 12, 2017

අපේ අහිංසක ආදරේ

අපේ අහිංසක ආදරේ ! 

පැන්සල් තුඩකින් , පෑන් තුඩකින් කවියක් නොලියවුණු අයෙක් වේ නම් එය විරලය. ආත්මීය ප්‍රකාශනයන් බොහෝ විට එසේ කඩදාහියක කාටත් හොරෙන් ලියවුණු අවස්ථා ඔබේ මතකයට නැගෙනු ඇත. එසේ ලියවුණු කවියක් වැනි යමක් කාටත් හොරෙන් බලා , කියවා ඔබ එය විදින්නට ඇත .සමහරවිට විදවමින් විදින්නට ඇත . එසේම මතක පමණක් හිත යට නිදන් කරවා එවන් වැකි, කවි ,නිදහස් පැදි පිලිස්සෙන්න්ට ඇත ...ඇතැම් විටක කුඩා කුඩා කැබලිවලට බිදෙන්නට ඇත . එසේ ලියවිල්ලක් වනුයේ ඔබේ භාවමය විරේචනයන්ය . ඇතැම් ආත්මීය ප්‍රකාශනයන් විශ්වීය අත්දැකීමක් කරනුවස් ගීතමය නිර්මාණ ලෙස එලි දකින්නට ඇත . එවන් එක් ගීතමය නිර්මාණයක් පසුගිය දිනෙක මා අල්ලා බැඳ තබා මා අතීතයට තල්ලු කළේය . ඒ සුගායනීය හඬ අන් කිසිවෙකුගේත් නොව අමරසිරි පීරිස් කලාකරුවානන්ගේය . මේ කතාව අහිංසක ආදරයක් ගැනය . අහිංසක ආදරයකට අංගුලිමාල විය නොහැකියැයි මා විශ්වාස කරමි .

අපේ අහිංසක ආදරේ

ලොවම  එරෙහි වෙන

ලොවට වසන්වන

අපේ අහිංසක ආදරේ

මුතු කැට බෙලි කටුවක් යට සගැවෙයි . අහිංසක මුතු බෙල්ලෙකුගේ ප්‍රාණය නිරුද්ධ කර මුතු කැටය පැහැර ගැනේ . මේ ආදරයත් ලොවට හොරා බිහිවන්නකි . එය මුතු කැටයක් ලෙස සුරැකිව තබාගන්නට වෙහෙසෙයි . මුතු තිබියයුත්තේ බෙල්ලන් තුල නොව ආභරණවල පමණක් යැයි සිතනන්නන් මුතු පැහැර ගනි . කථකයාගේ ආදරයද එබඳු යැයි මට හැගෙයි . ආදරයකට , එරෙහිවන්නට නේක විද කාරණා තිබිය හැක. සංස්කෘතික , සාමාජීය එමෙන්ම ආගමික කාරණාද ඒ අතර තිබිය හැක . මෙම ගීතයේ පද ප්‍රවීණ දේශපාලන විද්‍යා දේශක ජයසේන බෙලිගලයන්ගෙනි . වේදිකාව මත හිදි හාත් පස විමසන මේ අදුරුතුමාට ඇතැම් විට එවන් ආදරයන් තැන තැන හැංගී තිබී හමුවුණාට සැක නැත .ඔහු පවසන්නේ එවන් කතාවක්ද එය දන්නේ ඔහුම පමණකි .

ප්‍රේමයේ සංස්පර්ශයන්  ඇතැම් විටක හුදෙක් භාවයමය ස්වරුපයක් ගන්නා අතර සියුම් හෝ කායික ස්පර්ශයකට කිසිඳු ඉඩක් නැති. හුදු කායික බැදීම් මතින් පමණක් දිවෙන බන්ධනයන් තුල ආදරයේ ස්වර්ණමය රැහැන ඇත්දැයි සැකයක් වෙයි. ඒ කෙසේ වුවද මේ ගීතයෙන් කියවෙන යුවලට උයන් කොණක මුදු සිසිලස හෝ  අවන්හලක ප්‍රේමනීය දොඩමලුවීමට ඉඩක්‌ නැත්තේ ඇතැම් විටක මෙය සම්මත පෙමක් නොවන නිසාද එසේත් නැතහොත් දහසක් රුදුරු නෙත් සරින් අහිංසක ආදරය වියැකී යා හැකි නිසාද ? සුනිල් එදිරිසිංහයන් ගේ ගීතයක පැදි පෙළක් සිහියට නැගෙයි .

' හදේ කොතැනක හෝ ඉඳි නුඹ නිදා නොනිදා මෙන්'

ඇතැම් ප්‍රේමයන් හදවතේ කුඩාම කුටීරයක මුතු කැටයක් ලෙස නිදන් කර ඇත . ඒ ගැන ලොව දන්නේ නැත . එහෙත් අවසර ලද ඇසිල්ලක මුතු කැටයක් නිසා බෙල්ලෙකුට දැනෙන වේදනාව දනේනවාට සැක නැත . ලොව වැඩිපුර ඇත්තේ හිමි නොවූ අහිමි ආදර කතා විය හැක. එවන් කතාවක ඔබද එක් චරිතයක් විය හැක . වටපිට බලා ආරක්‍ෂිත බව දැන එවන් අතීතයක මනෝමය කාල සක්මනක යෙදෙන ස්වාමිවරු , බිරින්දෑවරු නැත්තේද නොවේ.

උයන් කොණක හිඳ සිසිලස විඳිනු බැරි
අවන්හලක ලැග දොඩමලු වන්න බැරි
පවන් රොදක නැග සිහිනෙක වෙලෙනු බැරි

මෙවන් ප්‍රේමයන් මේ වනවිටද ලොව බොහෝ තැන් වල මැරී මැරී ජීවත් වනු ඇති. සමහරවිට එය ඔබ තුළද නොමැරී එහෙත් මැරී මැරී ජීවත්වෙනු ඇත. එහෙත් සැහැල්ලුවෙන් ඒ ප්‍රේමය ගැන හීන දැකීම උගහටය . බෙලිගලයන් මේ කතා කරන්නේ ' රහස් ප්‍රේමයක් ' ගැන යැයි මට සිතේ .' රහස් ප්‍රේමය ' මෙය කියවන්නාට අභිමත ලෙස නිර්වචනය කර ගත හැක . ' මේ ආදරණීය රහස ' කිසිවෙකුට නොකීව මනාය . අසන්නා එය කෙසේ අසාවිදැයි නොදැනී .සරලවම මේ රහස් ආදරණීය කතාව මේ කියන කථකයාටවත් විශ්වාස කිරීමට නොහැකිය . එය ලොවට හොරා බිහිවූ අහිංසක ආදරයක්මය .

' කීවත් කෙනෙකුට අදහා ගන්න බැරි

 කියන්නේ කෙලෙස ද මටවත් හිතනු බැරි

රන් හුයකින් බැන්ද පමණකට එය ආදරයක් විය හැකිනම් ? එය එසේ නොවේ . ප්‍රේමනීය බන්ධනයන් හී ස්වර්ණමය හුය අදෘශ්‍යමානය . එවන් ප්‍රේමයන් මියෙනතුරු ජීවත් වෙති. බෙලිගලයන්  මේ කියන්නට උත්සුක වන්නේ ලොව ප්‍රේමය යැයි යමක් වේ නම් එය ඇත්තේ අහිමි වීම තුල බවද ?

නිදන්ගත ප්‍රේමය සුරැකිව ඇති හද කුටියේ දොර වසනු මැනවි . එය එසේ සුරක්ෂිත ව තිබුණාවේ.


'' අපේ අහිංසක ආදරේ '' අමරසිරි පීරිස්ගේ සුගායනීය හඬ තවදුරටත් ඔබට එසේ ඇසෙනු ඇත .


- අශෝක් ප්‍රියදර්ශන

Friday, November 10, 2017

"ඔහු අප්පච්චි විය ....!"



        "ඔහු අප්පච්චි විය ....!"

 වියුක්ත මනෝ භාවයක් වූ සෙනෙහස , ආදරය කෙසේ ජනම වී දැයි කීම තරමක් අපහසුය. එහෙත් ' අම්මා ' ආදරයේ උල්පත ලෙස අපි දනිමු.  බුදුන් වහන්සේ ද ජේසුස් වහන්සේද ආදරවන්තයන්ය . ඒ, සකලවාසි ජනයා උදෙසා කළ කොන්දේසි විරහිත වූ  ආදරයයි . ප්‍රේමය අනෙක් අතට කොන්දේසි විරහිත යැයි   පැවසීම උගහටය . මන්දයත් බොහෝ ප්‍රේම කතා ගලා යන්නේ කොන්දේසි මතින් වීම නිසාත් , කොන්දේසි උල්ලංඝනය වන තැන ප්‍රේමනීය හැගීම් වෙනත් මුහුණුවරක් ගන්නා නිසාත්ය . මේ කතාව ' ප්‍රේමය ' ගැන නොවේ, අප්පච්චිගේ කොන්දෙසි විරහිත සෙනෙහස ගැනය .

නිහඬ රාත්‍රියක දිවුල්ගනේ නම් අසහාය ගායකයාගේ හඬ මගේ සවනත වැකුණේ මාගේ මනස දුර අතීතයේ තැනක රදවමිනි . ඔහුගේ භාවපූර්ණ මධුර ස්වරය මෙසේ මට ඇසෙයි .

'' අන්දරයායේ වැව් තාවල්ලේ සක්මන් කරනා අප්පච්චි

 දොලේ දියයි මට කෙතේ නිලයි

ගහ වැලේ මලයි මට අප්පච්චි ''

කථකයාට මෙනෙහි වන්නේ ' වැව් තාවල්ලේ සක්මන් කරන අපප්ච්චි ' ගැනය . ඔබේත්, මගෙත් ආදරණීය අප්පච්චි අප  මියෙනතුරු හදවතේ සක්මන් කරනු නියතය .   යෝධයන් ගැන අප අසා ඇත . එහෙත් අපි හැබැහින් දැක ඇති යෝධයෙකු වේ නම් ඔහු අන්කවරෙකුත් නොව අප්පච්චිමය . ඒ නිසාම , කුඩා කල අප උදම් අනන ලෙස , අප්පච්චිට යෝධ ගල් වුව පෙරලිය හැක. ලොව ඕනෑම උපකරණයක්
 සෑදීමට තරම් පතල හැකියාවක් ඇති විද්‍යාඥයෙකි . යකුන් සීයකට වුව පහර දිය හැකි වීරයා ඔහුය . සැබවින්ම ' අප්පච්චී ' ශරීරයෙන් කොපමණ කුඩා වුවත් අපට නම් යෝධයෙකි . ඒ යෝධ බව කොතෙක්ද යත් , මුළු ලෝකය තරම් ඔහු සද්ධන්තය . වර්ෂාව ලෙසින් මහපොළව තෙමන්නේ ඔහුගේ සෙනෙහසේ දහදිය සහ කදුලුය . කථකයාගේ පියා ගොවියෙකු විය හැක . ආදරය වපුරා එහි මල් එල ලොවට පුදන්නේ ඔහු විය හැක . ඔබෙත් , මගෙත් පියවරු ගොවියෝය . ඔවුන් වපිරුවේ ආදරයයි . අද අප එල ලබන්නේ ඔවුන්ගේ  ආදරයේ අස්වැන්නයි . ඔහු නිහඬව බලා සිටී . ඔහුගේ ආදරය අම්මගේ ආදරය මෙන් ප්‍රකාශිත නොවන අවස්ථා එමටය . එහෙත් , පස් යට සැගවී අගනා මිනිමුතු ලෙසින් ඔහුගේ ආදරය දිදුලයි .

අප්පච්චි විශ්වකර්මයාය . ඒ නිසාම ඔහු තුරු හිස් මුදුන් මත මල් පලදා , කුසගිනි නිවන්නේය . ඔහු එසේය . අතීතයේ තැනක ඔබ මොහොතකට සිරවෙන්න . අප දැන උන්නේ ලැබෙන දේ කෑමට මිස ඒවා කොහෙන් ලැබුනේදැයි සෙවීමට නොවේ. අපට මතක එහි රසයයි . එහෙත් , ඒ රසය තුල අපප්ච්චි හෙලු දහදිය කදුලැල් මුහුවී නොතිබුනා නොවුනායැයි කාට නම් කිව හැකිද ?

ඔබත් , මමත් අද සිදාදියේය . සිදාදියට ආ ගමන සොඳුරු නොවූ වග ඔබත් මමත් දනී . අද සත්සමුදුර තරණය කරන්නට එඩි ඇති අප එදා කුඩා දිය පහරට බියවන්නට ඇත . අප්පච්චි කුඩා ඒ දඬු සෑදුවේය . අප ඔහුගේ අතින් අල්ලා ඉන් එතෙර විය. අප ඉදිරියේ වූ සත්කුළු පව් සුනු විසුණු කොට සිදාදිය පෙන්වීය . සිදාදියට ආ ඇතැමුන්ට අපප්ච්චි ව ගමේම අතරමං විය . ඔහු තවමත් කුඩා ඒදඬු අසළ පැරණි මතකයන් හා ජීවත්වනවා ඇත . ගම්මානයේ සිට ඔහු , දරුවන් එනතුරු දෑස් හයා බලා සිටිනවා විය හැක .

දිවි ගමනේ ඉම කඳු මුදුනේ හිඳ

පිතු සෙනෙහෙ කඳුළැලි සලනා


- අශෝක් ප්‍රියදර්ශන                   


Sunday, October 29, 2017

ලියැවුණු මොකද්දෝ එකක් !



 "මල් කිනිති සැලෙනා විසල් නුබ ගැබ අරා  " 



 මල් කිනිති සැලෙනා 
             විසල් නුබ ගැබ අරා  
සහස් කවි ගෙතෙනා
              සුපෙම් හදවත පුරා 
රහස් ගෙන අමුණා  
            මේගයක සැරි සරා
සියක් දුර සරණා 

              සුපෙම් සුසුමන්  දරා ......

පවනක් වී හමා -
           නීල මිටියාවත පුරා
සුපුල් පියුමන්  මවා -
              නුඹේ  සුවඳ තවරා

දේදුනු පැහැය කලතා
          සියුම් මල් පෙති අරා

සියක් දුර සරනා සුපෙම් සුසුමන් දරා .....//

උදුල සඳකැන්  තෙමා
            ලකල් වුවනත පුරා
දිදුල තරු කැට නිමා
             දෙනෙත කැටයම් කරා


සියක් දුර සරණා සුපෙම් සුසුමන් දරා ....//

පද - අශෝක් ප්‍රියදර්ශන