
"ඔහු අප්පච්චි විය ....!"
වියුක්ත මනෝ භාවයක් වූ සෙනෙහස , ආදරය කෙසේ ජනම වී දැයි කීම තරමක් අපහසුය. එහෙත් ' අම්මා ' ආදරයේ උල්පත ලෙස අපි දනිමු. බුදුන් වහන්සේ ද ජේසුස් වහන්සේද ආදරවන්තයන්ය . ඒ, සකලවාසි ජනයා උදෙසා කළ කොන්දේසි විරහිත වූ ආදරයයි . ප්‍රේමය අනෙක් අතට කොන්දේසි විරහිත යැයි පැවසීම උගහටය . මන්දයත් බොහෝ ප්‍රේම කතා ගලා යන්නේ කොන්දේසි මතින් වීම නිසාත් , කොන්දේසි උල්ලංඝනය වන තැන ප්‍රේමනීය හැගීම් වෙනත් මුහුණුවරක් ගන්නා නිසාත්ය . මේ කතාව ' ප්‍රේමය ' ගැන නොවේ, අප්පච්චිගේ කොන්දෙසි විරහිත සෙනෙහස ගැනය .
නිහඬ රාත්‍රියක දිවුල්ගනේ නම් අසහාය ගායකයාගේ හඬ මගේ සවනත වැකුණේ මාගේ මනස දුර අතීතයේ තැනක රදවමිනි . ඔහුගේ භාවපූර්ණ මධුර ස්වරය මෙසේ මට ඇසෙයි .
'' අන්දරයායේ වැව් තාවල්ලේ සක්මන් කරනා අප්පච්චි
දොලේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චි ''
කථකයාට මෙනෙහි වන්නේ ' වැව් තාවල්ලේ සක්මන් කරන අපප්ච්චි ' ගැනය . ඔබේත්, මගෙත් ආදරණීය අප්පච්චි අප මියෙනතුරු හදවතේ සක්මන් කරනු නියතය . යෝධයන් ගැන අප අසා ඇත . එහෙත් අපි හැබැහින් දැක ඇති යෝධයෙකු වේ නම් ඔහු අන්කවරෙකුත් නොව අප්පච්චිමය . ඒ නිසාම , කුඩා කල අප උදම් අනන ලෙස , අප්පච්චිට යෝධ ගල් වුව පෙරලිය හැක. ලොව ඕනෑම උපකරණයක්
සෑදීමට තරම් පතල හැකියාවක් ඇති විද්‍යාඥයෙකි . යකුන් සීයකට වුව පහර දිය හැකි වීරයා ඔහුය . සැබවින්ම ' අප්පච්චී ' ශරීරයෙන් කොපමණ කුඩා වුවත් අපට නම් යෝධයෙකි . ඒ යෝධ බව කොතෙක්ද යත් , මුළු ලෝකය තරම් ඔහු සද්ධන්තය . වර්ෂාව ලෙසින් මහපොළව තෙමන්නේ ඔහුගේ සෙනෙහසේ දහදිය සහ කදුලුය . කථකයාගේ පියා ගොවියෙකු විය හැක . ආදරය වපුරා එහි මල් එල ලොවට පුදන්නේ ඔහු විය හැක . ඔබෙත් , මගෙත් පියවරු ගොවියෝය . ඔවුන් වපිරුවේ ආදරයයි . අද අප එල ලබන්නේ ඔවුන්ගේ ආදරයේ අස්වැන්නයි . ඔහු නිහඬව බලා සිටී . ඔහුගේ ආදරය අම්මගේ ආදරය මෙන් ප්‍රකාශිත නොවන අවස්ථා එමටය . එහෙත් , පස් යට සැගවී අගනා මිනිමුතු ලෙසින් ඔහුගේ ආදරය දිදුලයි .
අප්පච්චි විශ්වකර්මයාය . ඒ නිසාම ඔහු තුරු හිස් මුදුන් මත මල් පලදා , කුසගිනි නිවන්නේය . ඔහු එසේය . අතීතයේ තැනක ඔබ මොහොතකට සිරවෙන්න . අප දැන උන්නේ ලැබෙන දේ කෑමට මිස ඒවා කොහෙන් ලැබුනේදැයි සෙවීමට නොවේ. අපට මතක එහි රසයයි . එහෙත් , ඒ රසය තුල අපප්ච්චි හෙලු දහදිය කදුලැල් මුහුවී නොතිබුනා නොවුනායැයි කාට නම් කිව හැකිද ?
ඔබත් , මමත් අද සිදාදියේය . සිදාදියට ආ ගමන සොඳුරු නොවූ වග ඔබත් මමත් දනී . අද සත්සමුදුර තරණය කරන්නට එඩි ඇති අප එදා කුඩා දිය පහරට බියවන්නට ඇත . අප්පච්චි කුඩා ඒ දඬු සෑදුවේය . අප ඔහුගේ අතින් අල්ලා ඉන් එතෙර විය. අප ඉදිරියේ වූ සත්කුළු පව් සුනු විසුණු කොට සිදාදිය පෙන්වීය . සිදාදියට ආ ඇතැමුන්ට අපප්ච්චි ව ගමේම අතරමං විය . ඔහු තවමත් කුඩා ඒදඬු අසළ පැරණි මතකයන් හා ජීවත්වනවා ඇත . ගම්මානයේ සිට ඔහු , දරුවන් එනතුරු දෑස් හයා බලා සිටිනවා විය හැක .
දිවි ගමනේ ඉම කඳු මුදුනේ හිඳ
පිතු සෙනෙහෙ කඳුළැලි සලනා
- අශෝක් ප්‍රියදර්ශන
No comments:
Post a Comment